(මා දරුවන්ගේ ගෙදර සිටි කාලයේ කරන ලද පරිවර්තනයකි. මෙය මගේ මුණුපුරන් දෙදෙනාගේ ළමා කතා පොතක තිබූ කතාවකි. කතුවරයාගේ නම සහ පොතේ නම දැන් මට අමතකය. ඒ ගැන සමාව අයදිමි.)
හැංගි මුත්තං
“සුකී” කියන්නෙ ඌරු පැටියෙක්. “ගටී” සහ “වලී” එක්ක කැලේ දඟ වැඩ කරන්න සුකී හරි ආසයි. කැලේ ඇතුළේ එයාලා කැමති තැන් ගොඩක් තියනවා.
ඔය කැලේ ඇතුළේ මහ පුදුම දේවල් සිද්ධ වෙනවා. සමහර වෙලාවට සුකීට කරදරත් වෙනවා.
වලී කියන සුකීගෙ යාළුවා වලිකුකුළෙක්. ඉක්මනින් බය වෙන කෙනෙක්. වලී හිතන්නෙ එයාගේ යාළුවෝ දඟ වැඩියි කියලයි. පිහාටු කිලිටි වෙනවට එයා කැමති නෑ. ඒත් විනෝදය ලැබෙන දේවල්වලින් අයින් වෙන්නෙත් නෑ.
ගටී කියන්නෙ පුංචි මුගටියෙක්.
එයා ඕනැවට වඩා හපන්කම් පෙන්වන්න කැමති කෙනෙක්. එයාගෙ විහිළුවලින් සමහර වෙලාවට කරදර සිද්ධ වෙනවා. ඒත් එයා දන්නවා සෙල්ලම් කරන විදිය.
++++++++++++++++++++++++++++++++++++
ඒ "මඩවල පෙදෙසේ" රැයක්. ඒ පැත්තට "මඩවල පෙදෙස" කීවෙ හැම තැනම මඩ කඩිති තිබුණ නිසයි.
සුකී ඌරු පැටියා එයාගෙ ගහ උඩ ගෙදර ඇතුළේ නිදාගෙනයි හිටියෙ. එළියේ හොඳටම වැස්ස. ගෙදර ඇතුළින් ඇහුණ මොකක්දෝ සද්දෙකින් සුකී ඇහැරුණා.
එයා විදුලි පන්දම අරගෙන කාමරය පුරාම එළිය කරලා බැලුවා.
" කවුද?"
කවුරුවත් උත්තර දුන්නෙ නෑ. සුකී ආයෙත් නිදා ගන්න ගියා.
ඊළඟ සැරේ බයවෙලා ඇහැරුණ සුකී ඇඳේ ඉඳගත්තා. එයා පුදුමයෙන් වගේ වට පිට බැලුවා.
කූඹියෙක් සුකීගේ කොට්ටය උඩ නිදාගෙන.
සුකී බයෙන් ඇහැරුණ සද්දෙට කූඹියත් ඇහැරුණා. කූඹියා ඇඟ මැලි කැඩුවා. ඈනුමකුත් ඇරියා.
"ඔයා කවුද?" ඇඟ කසමින් සුකී ඇහුවා.
"මගේ නම හිච්චි." කූඹියා කීවා. "මොනවද උදේට කන්න තියෙන්නේ?"
++++++++++++++++++++++++++++++++++++++++++++++++
"ඔයාගෙ ගෙදර තියෙන්නෙ කොහෙද?" උදේට කෑම කන ගමන් සුකී හිච්චි ගෙන් ඇහුවා.
හිච්චිගෙ මුහුණ මලානික වුණා.
" අපේ කූඹි කන්ද වැස්සට හේදිලා ගියා." හිච්චි කීවා.
"කමක් නෑ." ටිකක් කල්පනා කරමින් ඉඳලා සුකී කීවා. "ටික දවසක් මෙහෙ ඉන්න. මගේ ගෙදර ඉඩ තියනවා."
"ඒක හොඳයි. අනේ බොහොම ස්තුතියි." හිච්චි කීවා. "අපි දවල්ට කන්නේ මොනවද?"
මොනවද කන්න තියෙන්නේ කියලා හොයන්න හිච්චි අයිස් පෙට්ටිය අරින්න ගියා. ඒ අතර සුකී එයාගෙ යාළුවන් දෙන්නා හොයන්න පිටත් වුණා. යාළුවන් දෙන්නා කීවෙ වලී කියන වලි කුකුළයි ගටී කියන මුගටියයි.
සුකී ඌරු පැටියා අමුත්තා ගැන යාළුවන්ට විස්තර කළා.
"මේක මහ විහිළුවක්." ගටී මුගටියා කීවා. "මම හුඟක් කූඹි දැකලා තියනවනෙ. ඔහොම දෙයක් ගැන නම් අහලවත් නෑ"
යාළුවන් තුන් දෙනා කතා කර කර කැලේ මැදින් යනකොට දිග කූඹි පේළියක් දැක්කා. කූඹි මහ ගොඩක්. එයාලා තණකොළ අස්සෙන් - එක්කෙනා පස්සෙ එක්කෙනා පේළියට ගමන් කරමින් හිටියා.
"මේ ගොල්ල මේ කොහාට යනවද දන්නේ නෑ" සුකී කීවා.
"අපි එයාලා පස්සෙන්ම ගිහින් බලමු" ගටී මුගටියා කීවා.
කුඹි රංචුව බිම වැටිලා තිබුණ වේලිච්ච පුංචි කොළ රොඩු අතරින් ඇවිදගෙන ගියා. ලොකු අතු සහ ලොකු කොළ උඩින් ඇවිදගෙන ගියා.
වඳුරෝ ගස් උඩ ඉඳගෙන පුදුම වෙලා ඒ දිහා බලාගෙන හිටියා.
කූඹි මඩවල පෙදෙස හරහා නවතින්නෙ නැතුවම ඇවිදගෙන ගියා. ගෙයක් හම්බවෙන තුරුම ගියා.
සුකී හයියෙන් කෑ ගැසුවා. "හැබැයි ඒක මගෙ ගෙදරනේ "
"ආයුබෝවන්! අඳුනාගන්න මගේ පවුලේ කට්ටිය." හිච්චි සුකීට කීවා. "ඔයා කීවනෙ මෙහෙ ඉන්න පුළුවනි කියලා "
හිච්චි, එයාගෙ අම්මයි තාත්තයි, කිරිඅත්තයි, කිරිඅම්මයි, අයියලා අක්කලයි, නංගිලා මල්ලිලයි, බාප්පලා පුංචි අම්මලා නැන්දම්මලා මාමණ්ඩිලා ඔක්කොමයි සුකීට අඳුන්වලා දුන්නා. සුකීත් එයාගේ යාළුවෝ දෙන්නා ඒ අයට අඳුන්වලා දුන්නා.
++++++++++++++++++++++++++++++++++++++++++++++++
හිච්චිගෙ ලොකු පවුල ඉක්මනින්ම ඒ ගෙදරට පුරුදු වුණා. ඒ අය හිතුණ හිතුණ වෙලාවට සුකීගෙ අල්මාරිවල තිබුණ කෑම ජාති අරගෙන කෑවා.
කූඹි පැටව් ලිස්සා යෑමේ සෙල්ලම කරන්න තෝරා ගත්තෙ සුකීගෙ නාන කාමරය. වැසිකිළි පෝච්චිය උඩත් නාන ටැංකිය උඩත් එයාලා ඒ සෙල්ලම කළා. ගෙදර බිත්තියෙ පුදුම හිතෙන තැන්වලින් එයාලා ඇතුළට රිංගුවා. පුදුම හිතෙන තැන්වලින් මතුවුණා.
"මේක නම් හරිම අපූරුයි. ඔයයි ඔයාගෙ යාළුවොයි මමයි මගේ පවුලේ කට්ටියයි. අපූරු එකතුවීමක් නේද? " කෑම කන ගමන් හිච්චි කීවා.
"ම්.. " සුකී කීවෙ කණගාටුවෙන්.
"කෑමෙන් පස්සෙ අතුරුපසට මොනවද කන්න තියෙන්නෙ?" හිච්චි ඇහුවා.
++++++++++++++++++++++++++++++++++++++++++++++++
සුකී යාළුවන් දෙන්නා ගෙදරින් එළියට එක්කගෙන ගියා.
"මං දැන් මොනවද කරන්නෙ?" එයා යාළුවන්ගෙන් ඇහුවා. " එයාලා මගෙ කෑම ඔක්කොම ඉවර කරනවා. ගේ ජරා කරනවා. මට නිදහසේ පොතක් කියවන්නවත් විදියක් නෑ. හැම තැනම - ගේ පුරාම එයාගෙ කට්ටිය. ඇත්තටමයි එයාලා මාව පිස්සු වට්ටවනවා."
"පොඩ්ඩක් ඉන්න." ටිකක් කල්පනා කරලා ගටී කීවා. " මම දන්නවා එයාලගෙන් ගැලවෙන හැටි"
ගටී කුඹින්ට කතා කළා.
"යාළුවනේ, අපි දැන් සෙල්ලමක් කරන්නයි යන්නේ." එයා ටිකක් හයියෙන් කීවා.
"හරි හොඳයි. මම සෙල්ලම්වලට හරි ආසයි." හිච්චි කීවා. " මේ, ඔක්කොම එන්න එළියට. දැන් සෙල්ලම් කරන්න යමු." හිච්චි එයාගේ පවුලේ කට්ටියටත් අඬ ගැහුවා.
කූඹි ටික එළියට අරගෙන ඉස්සර වුණ ගටී ඇවිදගෙන ගියා. ගියා ගියා ගියා. ගොඩක් දුර ගියා. යාළුවන් දෙන්නයි, හිච්චියි, හිච්චිගෙ පවුලේ අයයි පිටිපස්සෙන් ගියා.
"මෙන්න තැන." නවතින ගමන් ගටී කීවා. "අපි දැන් හැංගි මුත්තං සෙල්ලම කරන්නයි යන්නේ. ඔයාලා මෙතන ඉන්න. අපි තුන් දෙනා හැංගෙනවා. ඇස් දෙක පියාගෙන දහයට ගණන් කරලා එන්න අපිව හොයන්න."
කූඹි ඇස් පියා ගත්තා. ඒ අතර යාළුවන් තුන් දෙනා හැංගෙන්න ගියා.
"කොහොමද අපි එයාලගෙන් ගැලවෙන්නෙ?" සුකී ගටීගෙන් රහසින් ඇහුවා.
"පොඩ්ඩක් ඔහොම ඉන්නකො" ගටී කීවා.
++++++++++++++++++++++++++++++++++++++++++++++++
“දැක්කා! දැක්කා! මං හෙව්වා! " හිච්චි වලී හොයාගෙන ලොකු සතුටකින් කෑගැසුවා.
ඊළඟට හැංගෙන්න තිබුණෙ කුඹින්ට. එයාලා විසිරිලා ගිහින් පුළුවන් හැම තැනකම හැංගුණා. හැංගෙන්න තැන් නැතුව සමහරු හුඟාක් ඈතට ගියා.
ගටීයි සුකීයි ගණන් කරන්න පටන් ගත්තා. "එක........ දෙක...............තුන........"
“දැන් දුවමු.” ගටී රහසින් කීවා.
"ඇයි ඒ? එතකොට එයාලට අපිව හොයන්න බැරිවෙයිනෙ " සුකී කීවා.
"ඒක තමයි වෙන්න ඕනැ. කතා කරමින් ඉන්න වෙලාවක් නෑ. ඔන්න අපි දැන් දුවනවා. එතකොට එයාලා මේ කැලේ අතරමං වෙනවා. දුවමු. දුවන්න..." කියන ගමන් ගටී දුවන්න පටන් ගත්තා. යාළුවෝ තුන්දෙනාම දිව්වා. කැලේ කඩාගෙන දිව්වා. ගහ උඩ ගෙදර හම්බවෙනකල්ම දිව්වා.
“එයාලට අපි මඟ හැරුණද?”හති දමමින් වලී ඇසුවා.
"මං හිතන්නෙ" සුකී කීවා.
"බය වෙන්න එපා. ආයෙත් එයාලට අපි හොයන්න ලැබෙන්නෙ නෑ" ගටී බොහොම විශ්වාසයෙන් යුතුව කීවා.
++++++++++++++++++++++++++++++++++++++++++++++++
රෑ බෝවීගෙන ආපු නිසා ගටීයි වලීයි එදා සුකීගෙ ගහ උඩ ගෙදර නවතින්න තීරණය කළා. දවල් සිද්ධ වුණු දේවල් ගැන හිනාවෙවී කතා කරමින් ඔවුන් ඒ හැන්දෑව ගතකළා. හොඳටම රෑ බෝවුණාට පස්සෙ තුන් දෙනාම නින්දට ගියා.
සුකීට නින්ද ගියේ නෑ.
ගෙදරින් පිටත හුළඟ මහා සද්දයක් නැඟුවා. හරියට කව්රුහරි වැලපෙනවා වගේ. අහසෙ ඈතින් ගොරවන සද්දේ ඇහුණා. ටික වෙලාවකින් වැස්ස වහින්න පටන් ගත්තා. වතුර වහලට වැටෙනකොට ඇහුණේ බෙරයක් ගහනවා වගේ.
සුකී නැගිටලා දොරෙන් එළියට ඔළුව දාලා බැලුවා. මොර සූරන වැස්ස.
"හිච්චි! අනේ පව් හිච්චි." සුකීට හැඬුම් ආවා. "හිච්චිට කරදරයක් නම් වෙන්න එපා."
++++++++++++++++++++++++++++++++++++++++++++++++
උදේ වෙනකොට කුණාටුව ඉවරවෙලා. හොඳට ඉර එළිය වැටෙමින් තිබුණා.
"යමු" ඇඳෙන් බහින ගමන් සුකී කීවා. "අපි දැන්ම ගිහින් එයාලා හොයන්න ඕනැ. එයාලට කරදරයක් වුණාද කියලා බලන්න ඕනැ"
" එයාලා කීවෙ?" නිදිමතේම වලී ඇහුවා.
"හිච්චියි එයාගෙ කට්ටියයි. ඊයෙ රෑ වැස්සට එයාලා හොඳටම තෙමෙන්න ඇති"
"හිච්චී.............හිච්චී.....................!
හිච්චිගෙ නම කියමින් යාළුවෝ තුන් දෙනා කැලේ පීරුවා. ගල් උස්සලා බැලුවා. දිරාපු ලී කොට ඇතුළේ බැලුවා. දිය කඩිති වලට එබිලා බැලුවා.
"හිච්චී.....................!" සුකී කැලේ දෙවනත් කළා. "මගේ වැරැද්ද. අපි එයාලා දාලා දුවපු එක වැරදියි."
++++++++++++++++++++++++++++++++++++++++++++++++
"ආ....න්න හිච්චි." ගටී එක පාරටම අත දික් කරලා පෙන්නුවා.
සුකී හිච්චි ළඟට දුවගෙන ගියා. එයාට හරිම සතුටුයි. යාළුවෝ දෙන්නටත් සතුටුයි.
"ඔයා හොඳින්ද හිච්චි? ඔයාට කරදරයක් වුණේ නෑ නේද?" සුකී ඇහුවා.
"නෑ. කරදරයක් වුණේ නෑ. අපට හොඳම හොඳ තැනක් හම්බ වුණා. එන්න පෙන්නන්න. කියමින් හිච්චි ඉස්සර වුණා. යාළුවෝ තුන්දෙනා පිටිපස්සෙන් ගියා.
කන්දක් උඩ හදලා තිබුණු ලස්සන පුංචි ගෙදරක් හම්බවෙන තුරුම ගියා.
++++++++++++++++++++++++++++++++++++++++++++++++
"හැබැයි.............” ගටී විලාප දුන්නා. “….. හැබැයි ඒක මගෙ ගෙදරනෙ. ඔයාලට එතන ඉන්න දෙන්න බෑ. මගේ ගෙදර මට ඕනැ"
"විනාඩියක් ඉන්න ගටී. මට ටිකක් හිතන්න ඉඩ දෙන්න" වලී කීවා.
ටික වෙලාවකින් වලී අපූරු යෝජනාවක් ගෙනාවා. " මේ මඩවල පෙදෙසේ තියන මඩ තමයි මේකට තියන උත්තරය. අපි ඒක කරමු. අපිට ඒක කරන්න පුළුවනි"
++++++++++++++++++++++++++++++++++++++++++++++++
ඒක ලොකු වැඩක්. මඩ වැඩක්. මහා ලොකු මඩ නාගන්න වෙන වැඩක්. අන්තිමට කට්ටියම එකතුවෙලා ඒක කළා. හිච්චිට හරිම සතුටුයි.
"දැන් අපටම කියලා ගෙයක් තියනවා. ගටීගෙ ගේ වගේ - සුකීගෙ ගේ වගේ ගහක් උඩ ගෙයක්. දැන් අපි අසල්වැසියෝ. තේ එකක් බොන්න හිතුණාම අපට ඔයාලගෙ ගෙවල්වලට ආවහැකි" හිච්චි කීවා.